ධම්ම පදය

ඩිජිටල් පුස්තකාලය

අප්පමාද වග්ගය

ගාථා අංක #21

අප්පමාදෝ අමතපදං - පමාදෝ මච්චුනෝ පදං

අප්පමත්තා න මීයන්ති - යේ පමත්තා යථා මතා

ප්‍රමාද නොවීම නිවනට මගයි. ප්‍රමාද වීම මරණයට මගයි. අප්‍රමාදී වූ අය මැරුණත් නොමැරුණා වගෙයි. පමා වූ අය ජීවත් වුණත් මැරුණා වගෙයි.

ගාථා අංක #22

ඒතං විසේසතෝ ඤත්වා - අප්පමාදම්හි පණ්ඩිතා

අප්පමාදේ පමෝදන්ති - අරියානං ගෝචරේ රතා

මේ වෙනස හොඳින් දන්නා නුවණැත්තෝ, ආර්යයන් වහන්සේලාගේ ගුණ ධර්ම වල ඇලිලා, අප්‍රමාදී බව ගැන සතුටු වෙනවා.

ගාථා අංක #23

තේ ඣායිනෝ සාතතිකා - නිච්චං දළ්හපරක්කමා

ඵුසන්ති ධීරා නිබ්බානං - යෝගක්ඛේමං අනුත්තරං

නිතරම වීර්යය කරන, ධ්‍යාන වඩන ඒ නුවණැත්තෝ, සියලු බියෙන් නිදහස් වූ උතුම් නිවන ස්පර්ශ කරනවා.

ගාථා අංක #24

උට්ඨානවතෝ සතිමතෝ - සුචිකම්මස්ස නිසම්මකාරිනෝ

සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ - අප්පමත්තස්ස යසෝභිවඩ්ඪති

උත්සාහවන්ත, සිහියෙන් ඉන්න, පිරිසිදු වැඩ කරන, විමසා බලා වැඩ කරන, සංවර වූ, දැහැමිව ජීවත් වෙන, අප්‍රමාදී කෙනාගේ කීර්තිය වැඩෙනවා.

ගාථා අංක #25

උට්ඨානේනප්පමාදේන - සඤ්ඤමේන දමේන ච

දීපං කයිරාථ මේධාවී - යං ඕඝෝ නාභිකීරති

උත්සාහයෙන්, අප්‍රමාදයෙන්, හික්මීමෙන් සහ ඉන්ද්‍රිය දමනයෙන් නුවණැත්තා තමන්ට දූපතක් හදාගන්නවා. ඒ දූපත කෙලෙස් සැඩ පහරට යට වෙන්නේ නැහැ.

ගාථා අංක #26

පමාදමනුයුඤ්ජන්ති - බාලා දුම්මේධිනෝ ජනා

අප්පමාදඤ්ච මේධාවී - ධනං සෙට්ඨංව රක්ඛති

අඥාන මෝඩ මිනිස්සු ප්‍රමාද වෙවී ඉන්නවා. ඒත් නුවණැත්තා තමන්ගේ අප්‍රමාදී බව රකින්නේ වටිනාම ධනයක් රකිනවා වගේ.

ගාථා අංක #27

මා පමාදමනුයුඤ්ජේථ - මා කාමරතිසන්ථවං

අප්පමත්තෝ හි ඣායන්තෝ - පප්පෝති විපුලං සුඛං

ප්‍රමාද වෙන්න එපා. කාම සැපවල ඇලෙන්න එපා. අප්‍රමාදීව ධ්‍යාන වඩන කෙනා උතුම් සැපයක් ලබනවා.

ගාථා අංක #28

පමාදං අප්පමාදේන - යදා නුදති පණ්ඩිතෝ

පඤ්ඤාපාසාදමාරුය්හ - අසෝකෝ සෝචිනිං පජං

පබ්බතට්ඨෝව භූමට්ඨේ - ධීරෝ බාලේ අවෙක්ඛති

යම් දවසක නුවණැත්තා අප්‍රමාදය තුළින් ප්‍රමාදය දුරු කරගත්තොත්, ඔහු ප්‍රඥාව නමැති මාලිගාවට නැගලා, ශෝක නැතිව, ශෝක වෙන සත්වයා දිහා බලනවා. හරියට කන්දක් උඩ ඉන්න කෙනෙක් බිම ඉන්න අය දිහා බලනවා වගේ.

ගාථා අංක #29

අප්පමත්තෝ පමත්තේසු - සුත්තේසු බහුජාගරෝ

අබලස්සංව සීඝස්සෝ - හිත්වා යාති සුමේධසෝ

ප්‍රමාද වූ අය අතර අප්‍රමාදීව, නිදා ගත් අය අතර අවදියෙන් ඉන්න නුවණැත්තා, දුර්වල අශ්වයෙක් පහු කරගෙන යන වේගවත් අශ්වයෙක් වගේ අනිත් අය පහු කරගෙන යනවා.

ගාථා අංක #30

අප්පමාදේන මඝවා - දේවානං සෙට්ඨතං ගතෝ

අප්පමාදං පසංසන්ති - පමාදෝ ගරහිතෝ සදා

මඝ මානවකයා දෙවියන් අතර ශ්‍රේෂ්ඨ වුණේ (ශක්‍රයා වුණේ) අප්‍රමාදය නිසයි. හැමදාම අප්‍රමාදය ප්‍රශංසා ලබනවා. ප්‍රමාදය නින්දා ලබනවා.

ගාථා අංක #31

අප්පමාදරතෝ භික්ඛු - පමාදේ භයදස්සි වා

සංයෝජනං අණුං ථූලං - ඩහං අග්ගීව ගච්ඡති

අප්‍රමාදයට කැමති, ප්‍රමාදයට බිය දකින භික්ෂුව, ලොකු කුඩා හැම බන්ධනයක්ම ගින්නක් වගේ දවාගෙන (නිවන් මගට) යනවා.

ගාථා අංක #32

අප්පමාදරතෝ භික්ඛු - පමාදේ භයදස්සි වා

අභබ්බෝ පරිහානාය - නිබ්බානස්සේව සන්තිකේ

අප්‍රමාදයට කැමති, ප්‍රමාදයට බිය දකින භික්ෂුව, කවදාවත් පිරිහෙන්නේ නැහැ. ඔහු ඉන්නේ නිවනට හරිම ළඟින්.