ධම්ම පදය

ඩිජිටල් පුස්තකාලය

අරහන්ත වග්ගය

ගාථා අංක #90

ගතද්ධිනෝ විසෝකස්ස - විප්පමුත්තස්ස සබ්බධි

සබ්බගන්ථප්පහීනස්ස - පරිළාහෝ න විජ්ජති

සසර ගමන නිම කළ, ශෝක නැති, හැම දෙයින්ම නිදහස් වුන, සියලු ගැට ලිහා දැමූ රහතන් වහන්සේට කිසිම දැවිල්ලක් (දුකක්) නැහැ.

ගාථා අංක #91

උය්‍යුඤ්ජන්ති සතීමන්තෝ - න නිකේතේ රමන්ති තේ

හංසාව පල්ලලං හිත්වා - ඕකමෝකං ජහන්ති තේ

සිහියෙන් ඉන්න රහතන් වහන්සේලා එක තැනක ඇලිලා ඉන්නේ නෑ. විල අතහැරලා යන හංසයෝ වගේ උන්වහන්සේලා ගෙවල් දොරවල් අතහැරලා යනවා.

ගාථා අංක #92

යේසං සන්නිචයෝ නත්ථි - යේ පරිඤ්ඤාතභෝජනා

සුඤ්ඤතෝ අනිමිත්තෝ ච - විමොක්ඛෝ යේස ගෝචරෝ

ආකාසේව සකුන්තානං - ගති තේසං දුරන්නයා

යම් කෙනෙක් පින් පව් රැස් කරන්නේ නැත්නම් (රහත් නම්), ආහාර ගැන අවබෝධයෙන් ඉන්නවා නම්, නිවන අරමුණු කරගෙන ඉන්නවා නම්, අහසේ යන කුරුල්ලන්ගේ පාර හොයන්න බැරි වගේ උන්වහන්සේලා ගිය තැනක් (උපතක්) හොයන්න බැහැ.

ගාථා අංක #93

යස්සාලවා පරික්ඛීණා - ආහාරේ ච අනිස්සිතෝ

සුඤ්ඤතෝ අනිමිත්තෝ ච - විමොක්ඛෝ යස්ස ගෝචරෝ

ආකාසේව සකුන්තානං - පදං තස්ස දුරන්නයං

යමෙක් ආශාවන් නැති කළා නම්, ආහාර ගැන තණ්හාවක් නැත්නම්, නිවන අරමුණු කරගෙන ඉන්නවා නම්, අහසේ යන කුරුල්ලන්ගේ පිය සටහන් හොයන්න බැරි වගේ උන්වහන්සේලා ගිය මග හොයන්න බැහැ.

ගාථා අංක #94

යස්සින්ද්‍රියානි සමථංගතානි - අස්සා යථා සාරථිනා සුදන්තා

පහීනමානස්ස අනාසවස්ස - දේවාපි තස්ස පිහයන්ති තාදිනෝ

දක්ෂ රියදුරෙක් අශ්වයන්ව දමනය කරනවා වගේ යමෙක් ඉන්ද්‍රියන් දමනය කළා නම්, මානය නැති කළා නම්, ඒ රහතන් වහන්සේට දෙවියෝ පවා කැමතියි.

ගාථා අංක #95

පඨවිසමෝ නෝ විරුජ්ඣති - ඉන්දඛීලූපමෝ තාදි සුබ්බතෝ

රහදෝව අපේතකද්දමෝ - සංසාරා න භවන්ති තාදිනෝ

පොළොව වගේ කම්පා වෙන්නේ නැති, ඉන්ද්‍රඛීලයක් (ස්ථිර කණුවක්) වගේ නොසැලෙන, මඩ නැති විලක් වගේ පැහැදුණ රහතන් වහන්සේට නැවත ඉපදීමක් නැහැ.

ගාථා අංක #96

සන්තං තස්ස මනං හෝති - සන්තා වාචා ච කම්ම ච

සම්මදඤ්ඤා විමුත්තස්ස - උපසන්තස්ස තාදිනෝ

මැනවින් අවබෝධ කරගෙන නිදහස් වුන රහතන් වහන්සේගේ සිත ශාන්තයි. වචනය ශාන්තයි. කයත් ශාන්තයි.

ගාථා අංක #97

අස්සද්ධෝ අකතඤ්ඤූ ච - සන්ධිච්ඡේදෝ ච යෝ නරෝ

හතාවකාසෝ වන්තාසෝ - ස වේ උත්තමපෝරිසෝ

ශ්‍රද්ධාව ඉක්මවා ගිය (ප්‍රඥාව ඇති), නිර්වාණය දන්නා, සසර බැමි සිඳ දැමූ, ඉපදීම නැති කළ, ආශාවන් වමාරා දැමූ කෙනා තමයි උත්තම පුරුෂයා.

ගාථා අංක #98

ගාමේ වා යදි වාරඤ්ඤේ - නින්නේ වා යදි වා ථලේ

යත්ථ අරහන්තෝ විහරන්ති - තං භූමිං රාමණෙය්‍යකං

ගමක වේවා, කැලයක වේවා, මිටියාවතක වේවා, ගොඩබිමක වේවා යම් තැනක රහතන් වහන්සේලා වැඩ ඉන්නවා නම් ඒ භූමිය හරිම රමණීයයි.

ගාථා අංක #99

රමණීයානි අරඤ්ඤානි - යත්ථ න රමතී ජනෝ

වීතරාගා රමෙස්සන්ති - න තේ කාමගවේසිනෝ

සාමාන්‍ය මිනිස්සු කැමති නැති කැලෑවලට, වීතරාගී උතුමන් (රහතන් වහන්සේලා) කැමතියි. මොකද උන්වහන්සේලා කාම සැප හොයන්නේ නැහැ.