ධම්ම පදය

ඩිජිටල් පුස්තකාලය

බාල වග්ගය

ගාථා අංක #60

දීඝා ජාගරතෝ රත්ති - දීඝං සන්තස්ස යෝජනං

දීඝෝ බාලානං සංසාරෝ - සද්ධම්මං අවිජානතං

නිදි නැති කෙනාට රාත්‍රිය දිගයි. ගමන් කරලා මහන්සි වුන කෙනාට යොදුනක් වුනත් දිගයි. ධර්මය දන්නේ නැති අඥානයාට සංසාරය හරිම දිගයි.

ගාථා අංක #61

චරඤ්චේ නාධිගච්ඡෙය්‍ය - සෙය්‍යං සදිසමත්තනෝ

ඒකචරියං දළ්හං කයිරා - නත්ථි බාලේ සහායතා

තමන්ට වඩා ගුණ යහපත් හෝ තමන්ට සමාන කෙනෙක් හොයාගන්න නැත්නම්, තනියම යන එක ඊට වඩා හොඳයි. අඥානයා එක්ක යාළුකම් එපා.

ගාථා අංක #62

පුත්තා මත්ථි ධනං මත්ථි - ඉති බාලෝ විහඤ්ඤති

අත්තා හි අත්තනෝ නත්ථි - කුතෝ පුත්තා කුතෝ ධනං

'මට දරුවෝ ඉන්නවා, මට ධනය තියෙනවා' කියලා අඥානයා දුක් වෙනවා. තමන්ට තමන්වත් අයිති නැති කොට, කොහෙද දරුවෝ? කොහෙද ධනයක්?

ගාථා අංක #63

යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං - පණ්ඩිතෝ වාපි තේන සෝ

බාලෝ ච පණ්ඩිතමානී - ස වේ බාලෝති වුච්චති

යම් අඥානයෙක් 'මම අඥානයෙක්' කියලා දන්නවා නම්, ඒ කාරණය නිසා ඔහු පණ්ඩිතයෙක් වෙනවා. ඒත් අඥානයා තමන් පණ්ඩිතයි කියලා හිතන් ඉන්නවා නම්, එයා ඇත්තටම අඥානයෙක් (මෝඩයෙක්).

ගාථා අංක #64

යාවජීවම්පි චේ බාලෝ - පණ්ඩිතං පයිරුපාසති

න සෝ ධම්මං විජානාති - දබ්බී සූපරසං යථා

හැන්ද හොද්දේ රස දන්නේ නෑ වගේ, අඥානයා ජීවිත කාලෙම පණ්ඩිතයෙක් ළඟ හිටියත් ධර්මය දැනගන්නේ නැහැ.

ගාථා අංක #65

මුහුත්තමපි චේ විඤ්ඤූ - පණ්ඩිතං පයිරුපාසති

ඛිප්පං ධම්මං විජානාති - ජිව්හා සූපරසං යථා

දිව හොද්දේ රස ඉක්මනට අඳුරගන්නවා වගේ, නුවණැත්තා එක මොහොතක් පණ්ඩිතයෙක් ඇසුරු කළත් ඉක්මනට ධර්මය අවබෝධ කරගන්නවා.

ගාථා අංක #66

චරන්ති බාලා දුම්මේධා - අමිත්තේනේව අත්තනා

කරොන්තා පාපකං කම්මං - යං හෝති කටුකප්ඵලං

නුවණ නැති අඥානයෝ, තමන්ටම හතුරෙක් වගේ හැසිරෙනවා. කටුක විපාක දෙන පව් වැඩම කරනවා.

ගාථා අංක #67

න තං කම්මං කතං සාධු - යං කත්වා අනුතප්පති

යස්ස අස්සුමුඛෝ රෝදං - විපාකං පටිසේවති

යම් දෙයක් කළාට පස්සේ පසුතැවෙන්න වෙනවා නම්, අඬ අඬා විපාක විඳින්න වෙනවා නම්, ඒ දේ කරන එක හොඳ නැහැ.

ගාථා අංක #68

තඤ්ච කම්මං කතං සාධු - යං කත්වා නානුතප්පති

යස්ස පතීතෝ සුමනෝ - විපාකං පටිසේවති

යම් දෙයක් කළාට පස්සේ පසුතැවෙන්න වෙන්නේ නැත්නම්, සතුටින් විපාක විඳින්න පුළුවන් නම්, අන්න ඒ දේ කරන එක තමයි හොඳ.

ගාථා අංක #69

මධුවා මඤ්ඤති බාලෝ - යාව පාපං න පච්චති

යදා ච පච්චති පාපං - අථ බාලෝ දුක්ඛං නිගච්ඡති

පව් වැඩේ විපාක දෙනකල් අඥානයා හිතන්නේ ඒක මී පැණි වගේ (රසයි) කියලා. ඒත් විපාක දෙන දවසට අඥානයා දුකට පත් වෙනවා.

ගාථා අංක #70

මාසේ මාසේ කුසග්ගේන - බාලෝ භුඤ්ජෙය්‍ය භෝජනං

න සෝ සංඛතධම්මානං - කලං අග්ඝති සොළසිං

මාසයක් ගානේ තණකොළ අගකින් කෑම ටික ටික කෑවත් (දුෂ්කර තපස් රැක්කත්), ඒක ධර්මය අවබෝධ කරගත් කෙනාගේ ගුණයෙන් දහසයෙන් පංගුවක්වත් වටින්නේ නැහැ.

ගාථා අංක #71

න හි පාපං කතං කම්මං - සජ්ජු ඛීරංව මුච්චති

ඩහන්තං බාලමන්වේති - භස්මච්ඡන්නෝව පාවකෝ

දෙවපු ගමන් කිරි මිදෙන්නේ නැහැ වගේ, පව් කළ ගමන් විපාක දෙන්නේ නැහැ. ඒත් අළු යට තියෙන ගින්දර වගේ ඒක අඥානයාව දවාගෙන පස්සෙන් එනවා.

ගාථා අංක #72

යාවදේව අනත්ථාය - ඤත්තං බාලස්ස ජායති

හන්ති බාලස්ස සුක්කංසං - මුද්ධමස්ස විපාතයං

අඥානයාට යම් දැනුමක් ලැබෙනවා නම්, ඒක ඔහුගේ විනාශයටමයි හේතු වෙන්නේ. ඒකෙන් එයාගේ යහපත නැති වෙලා, ඔළුව පැලිලා යනවා.

ගාථා අංක #73

අසන්තං භාවනමිච්ඡෙය්‍ය - පුරෙක්ඛාරඤ්ච භික්ඛුසු

ආවාසේසු ච ඉස්සරියං - පූජා පරකුලේසු ච

අඥාන භික්ෂුව නැති ගුණ පෙන්නන්න කැමතියි. අනිත් අයට වඩා ඉස්සර වෙන්න කැමතියි. පන්සල් වල බලය අල්ලගන්න කැමතියි. දායකයන්ගෙන් පූජා ලබන්න කැමතියි.

ගාථා අංක #74

මමේව කතමඤ්ඤන්තු - ගිහී පබ්බජිතා උභෝ

මමේවාතිවසා අස්සු - කිච්චාකිච්චේසු කිස්මිචි

ඉති බාලස්ස සංකප්පෝ - ඉච්ඡා මානෝ ච වඩ්ඪති

'ගිහියෝ පැවිද්දෝ දෙගොල්ලොම හිතන්න ඕනේ මේක මමයි කළේ කියලා. හැම වැඩකදීම මම කියන විදියට වෙන්න ඕනේ.' අඥානයා ඔහොම හිතනකොට එයාගේ තණ්හාවයි මානයයි වැඩි වෙනවා.

ගාථා අංක #75

අඤ්ඤා හි ලාභූපනිසා - අඤ්ඤා නිබ්බානගාමිනී

ඒවමේතං අභිඤ්ඤාය - භික්ඛු බුද්ධස්ස සාවකෝ

සක්කාරං නාභිනන්දෙය්‍ය - විවේකමනුබ්‍රූහයේ

ලාභ උපයන පාර වෙන එකක්. නිවනට යන පාර වෙන එකක්. මේක තේරුම් අරගෙන බුදුරදුන්ගේ ශ්‍රාවක භික්ෂුව ලාභ සත්කාර වලට කැමති නොවී, විවේකය (හුදකලාව) දියුණු කරගන්න ඕනේ.