ධම්ම පදය

ඩිජිටල් පුස්තකාලය

චිත්ත වග්ගය

ගාථා අංක #33

ඵන්දනං චපලං චිත්තං - දුරක්ඛං දුන්නිවාරයං

උජුං කරෝති මේධාවී - උසුකාරෝව තේජනං

සිත සැලෙන සුළුයි, චපලයි. රකින්න අමාරුයි, නවත්වන්න අමාරුයි. ඊතල සාදන්නා ඊතලය කෙලින් කරනවා වගේ, නුවණැත්තා මේ සිත කෙලින් කරගන්නවා.

ගාථා අංක #34

වාරිජෝව ථලේ ඛිත්තෝ - ඕකමෝකතඋබ්භතෝ

පරිඵන්දතිදං චිත්තං - මාරධෙය්‍යං පහාතවේ

වතුරෙන් ගොඩට ගත් මාළුවෙක් දඟලනවා වගේ, කෙලෙස් මාරයාගෙන් බේරෙන්න හදන මේ සිත (කෙලෙස් නැතුව) දඟලනවා.

ගාථා අංක #35

දුන්නිග්ගහස්ස ලහුනෝ - යත්ථ කාමනිපාතිනෝ

චිත්තස්ස දමථෝ සාධු - චිත්තං දන්තං සුඛාවහං

සිත දමනය කරන එක අමාරුයි. ඒක හරි වේගවත්. කැමති තැනක නවතිනවා. ඒ වුණාට සිත දමනය කරගන්න එක යහපත්. දමනය කරගත් සිත සැප ගෙන දෙනවා.

ගාථා අංක #36

සුදුද්දසං සුනිපුණං - යත්ථ කාමනිපාතිනං

චිත්තං රක්ඛේථ මේධාවී - චිත්තං ගුත්තං සුඛාවහං

සිත දකින්න හරි අමාරුයි. හරිම සියුම්. කැමති අරමුණක එල්ලෙනවා. නුවණැත්තා මේ සිත රැකගන්න ඕනේ. රැකගත් සිත සැප ගෙන දෙනවා.

ගාථා අංක #37

දූරංගමං ඒකචරං - අසරීරං ගුහාසයං

යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති - මොක්ඛන්ති මාරබන්ධනා

සිත හරි දුර යනවා. තනියම යන්නේ. ශරීරයක් නැහැ. හෘද වස්තුව ඇතුලේ ඉන්නේ. කවුරු හරි මේ සිත සංවර කරගත්තොත්, ඔහු මාර බන්ධනයෙන් නිදහස් වෙනවා.

ගාථා අංක #38

අනවට්ඨිතචිත්තස්ස - සද්ධම්මං අවිජානතෝ

පරිප්ලවපසාදස්ස - පඤ්ඤා න පරිපූරති

ස්ථිර සිතක් නැති, සදහම් නොදන්න, චපල විශ්වාසය තියෙන කෙනාගේ ප්‍රඥාව කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ.

ගාථා අංක #39

අනවස්සුතචිත්තස්ස - අනන්වාහතචේතසෝ

පුඤ්ඤපාපපහීනස්ස - නත්ථි ජාගරතෝ භයං

රාගයෙන් තෙත් නොවුන, ද්වේෂයෙන් පහර නොලබපු, පින් පව් දෙකම අතහැරපු, අවදියෙන් ඉන්න රහතන් වහන්සේට බියක් නැහැ.

ගාථා අංක #40

කුම්භූපමං කායමිමං විදිත්වා - නගරූපමං චිත්තමිදං ඨපෙත්වා

යෝධේථ මාරං පඤ්ඤාවුධේන - ජිතඤ්ච රක්ඛේ අනිවේසනෝ සියා

මේ කය මැටි කළයක් වගේ බිඳෙන බව දැනගෙන, මේ සිත නගරයක් වගේ ආරක්ෂා කරගෙන, ප්‍රඥාව නමැති ආයුධයෙන් මාරයාත් එක්ක යුද්ධ කරන්න ඕනේ.

ගාථා අංක #41

අචිරං වතයං කායෝ - පඨවිං අධිසෙස්සති

ඡුද්ධෝ අපේතවිඤ්ඤාණෝ - නිරත්ථංව කලිංගරං

අහෝ! මේ කය වැඩි කාලයක් පවතින්නේ නැහැ. විඤ්ඤාණය ගියහම, අහක දාපු දර කෑල්ලක් වගේ මේක පොළොවට පස් වෙලා යනවා.

ගාථා අංක #42

දිසෝ දිසං යං තං කයිරා - වේරී වා පන වේරිනං

මිච්ඡාපණිහිතං චිත්තං - පාපියෝ නං තතෝ කරේ

හතුරෙක් හතුරෙකුට කරන නපුරට වඩා, වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට කරන නපුරට වඩා, තමන්ගේම වැරදියට පිහිටුවා ගත් සිත තමන්ට ලොකු නපුරක් කරනවා.

ගාථා අංක #43

න තං මාතා පිතා කයිරා - අඤ්ඤේ වාපි ච ඤාතකා

සම්මාපණිහිතං චිත්තං - සෙය්‍යසෝ නං තතෝ කරේ

අම්මා තාත්තා වත්, නෑදෑයෝ වත් නොකරන තරම් උතුම් යහපතක්, තමන්ගේම මැනවින් පිහිටුවා ගත් සිත තමන්ට ලබා දෙනවා.