ධම්ම පදය

ඩිජිටල් පුස්තකාලය

ලෝක වග්ගය

ගාථා අංක #167

හීනං ධම්මං න සේවෙය්‍ය - පමාදේන න සංවසේ

මිච්ඡාදිට්ඨිං න සේවෙය්‍ය - න සියා ලෝකවඩ්ඪනෝ

පහත් දේවල් කරන්න එපා. ප්‍රමාද වෙන්න එපා. මිසදිටු ගන්න එපා. (සසර) ලෝකය වැඩ කරන කෙනෙක් වෙන්න එපා.

ගාථා අංක #168

උත්තිට්ඨේ නප්පමජ්ජෙය්‍ය - ධම්මං සුචරිතං චරේ

ධම්මචාරී සුඛං සේති - අස්මිං ලෝකේ පරම්හි ච

නැගිටින්න, පමා වෙන්න එපා. යහපත් චරිතයේ (ධර්මයේ) හැසිරෙන්න. ධර්මයේ හැසිරෙන කෙනා මෙලොව පරලොව දෙකේම සුවසේ ඉන්නවා.

ගාථා අංක #169

ධම්මං චරේ සුචරිතං - න තං දුච්චරිතං චරේ

ධම්මචාරී සුඛං සේති - අස්මිං ලෝකේ පරම්හි ච

යහපත් දේම කරන්න. දුසිරිත් කරන්න එපා. ධර්මයේ හැසිරෙන කෙනා මෙලොව පරලොව දෙකේම සුවසේ ඉන්නවා.

ගාථා අංක #170

යථා බුබ්බුලකං පස්සේ - යථා පස්සේ මරීචිකං

ඒවං ලෝකං අවෙක්ඛන්තං - මච්චුරාජා න පස්සති

වතුර බුබුලක් දිහා බලනවා වගේ, මිරිඟුවක් දිහා බලනවා වගේ, කවුරු හරි මේ ලෝකය (ශරීරය) දිහා බැලුවොත්, මාරයාට එයාව පේන්නේ නෑ (එයා නිවන් දකිනවා).

ගාථා අංක #171

ඒථ පස්සථිමං ලෝකං - චිත්තං රාජරථූපමං

යත්ථ බාලා විසීදන්ති - නත්ථි සංගෝ විජානතං

ඇවිත් බලන්න මේ ලෝකය දිහා. මේක ලස්සනට සරසපු රජ රථයක් වගේ. මෝඩයෝ මේකේ රැවටෙනවා (ගිලෙනවා). ඒත් නුවණැත්තෝ මේකේ ඇලෙන්නේ නැහැ.

ගාථා අංක #172

යෝ ච පුබ්බේ පමජ්ජිත්වා - පච්ඡා සෝ නප්පමජ්ජති

සෝමං ලෝකං පභාසේති - අබ්භා මුත්තෝව චන්දිමා

ඉස්සර පමා වෙලා (වැරදි කරලා) හිටියත්, පස්සේ යමෙක් අප්‍රමාදී වෙනවා නම් (හෑදෙනවා නම්), වලාකුළු වලින් මිදුණු සඳ වගේ එයා මේ ලෝකය එළිය කරනවා.

ගාථා අංක #173

යස්ස පාපං කතං කම්මං - කුසලේන පිථීයති

සෝමං ලෝකං පභාසේති - අබ්භා මුත්තෝව චන්දිමා

යමෙක් කළ පව්, කුසලයෙන් වහලා දානවා නම් (රහත් වෙනවා නම්), වලාකුළු වලින් මිදුණු සඳ වගේ එයා මේ ලෝකය එළිය කරනවා.

ගාථා අංක #174

අන්ධභූතෝ අයං ලෝකෝ - තනුකෙත්ථ විපස්සති

සකුන්තෝ ජාලමුත්තෝව - අප්පෝ සග්ගාය ගච්ඡති

මේ ලෝකේ මිනිස්සු අන්ධ වෙලා වගේ ඉන්නේ. ඇත්ත දකින්නේ බොහොම ටික දෙනයි. දැලෙන් ගැලවුන කුරුල්ලෙක් වගේ හරිම ටික දෙනයි සුගතියට යන්නේ.

ගාථා අංක #175

හංසාදිච්චපථේ යන්ති - ආකාසේ යන්ති ඉද්ධියා

නීයන්ති ධීරා ලෝකම්හා - ජෙත්වා මාරං සවාහිනං

හංසයෝ අහසින් යනවා. සෘද්ධිමතුන් අහසින් යනවා. නුවණැත්තෝ (රහතන් වහන්සේලා) මාර සේනාව පරද්දලා මේ ලෝකයෙන් (නිවනට) යනවා.

ගාථා අංක #176

ඒකං ධම්මං අතීතස්ස - මුසාවාදිස්ස ජන්තුනෝ

විතිණ්ණපරලෝකස්ස - නත්ථි පාපං අකාරියං

එක ධර්මයක් (සත්‍යය) ඉක්මවපු, බොරු කියන, පරලොවක් නෑ කියලා හිතන කෙනාට කරන්න බැරි පවක් නෑ.

ගාථා අංක #177

න වේ කදරියා දේවලෝකං වජන්ති - බාලා හවේ නප්පසංසන්ති දානං

ධීරෝ ච දානං අනුමෝදමානෝ - තේනේව සෝ හෝති සුඛී පරත්ථ

මසුරෝ දිව්‍ය ලෝකේ යන්නේ නෑ. අඥානයෝ දන් දෙන එක වර්ණනා කරන්නේ නෑ. ඒත් නුවණැත්තෝ දානය අනුමෝදන් වෙනවා. ඒ නිසා පරලොවදී සැප ලබනවා.

ගාථා අංක #178

පථව්‍යා ඒකරජ්ජේන - සග්ගස්ස ගමනේන වා

සබ්බලෝකාධිපච්චේන - සෝතාපත්තිඵලං වරං

මුළු පොළොවේම රජකමට වඩා, දිව්‍ය ලෝකේ යනවට වඩා, මුළු ලෝකෙම අධිපතිකමට වඩා, සෝවාන් ඵලය උතුම්.