ධම්ම පදය

ඩිජිටල් පුස්තකාලය

මග්ග වග්ගය

ගාථා අංක #273

මග්ගානට්ඨංගිකෝ සෙට්ඨෝ - සච්චානං චතුරෝ පදා

විරාගෝ සෙට්ඨෝ ධම්මානං - දිපදානඤ්ච චක්ඛුමා

මාර්ග අතරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි. සත්‍යයන් අතර චතුරාර්ය සත්‍යය ශ්‍රේෂ්ඨයි. ධර්මයන් අතර විරාගය (නිවන) ශ්‍රේෂ්ඨයි. දෙපා ඇත්තන් අතර බුදුරදුන් ශ්‍රේෂ්ඨයි.

ගාථා අංක #274

ඒසෝව මග්ගෝ නත්ථඤ්ඤෝ - දස්සනස්ස විසුද්ධියා

ඒතං හි තුම්හේ පටිපජ්ජථ - මාරස්සේතං පමෝහනං

දැක්ම පිරිසිදු කරගන්න (නිවන් දකින්න) තියෙන්නේ මේ පාර විතරයි. වෙන පාරක් නෑ. මේ පාරේ ගියොත් මාරයාව මුළා කරන්න පුළුවන්.

ගාථා අංක #275

ඒතං හි තුම්හේ පටිපන්නා - දුක්ඛස්සන්තං කරිස්සථ

අක්ඛාතෝ වේ මයා මග්ගෝ - අඤ්ඤාය සල්ලසන්ථනං

මේ පාරේ ගියොත් ඔයාලට දුක ඉවර කරන්න පුළුවන්. (රාගාදී) හුල් ගලවන මේ මාර්ගය මම දේශනා කළේ මමම අවබෝධ කරගෙන.

ගාථා අංක #276

තුම්හේහි කිච්චං ආතප්පං - අක්ඛාතාරෝ තථාගතා

පටිපන්නා පමොක්ඛන්ති - ඣායිනෝ මාරබන්ධනා

ඔයාලා තමයි මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. බුදුවරු කරන්නේ පාර පෙන්නන එක විතරයි. මේ පාරේ යන අය මාර බැම්මෙන් නිදහස් වෙනවා.

ගාථා අංක #277

සබ්බේ සංඛාරා අනිච්චාති - යදා පඤ්ඤාය පස්සති

අථ නිබ්බින්දති දුක්ඛේ - ඒස මග්ගෝ විසුද්ධියා

'සියලු සංස්කාර අනිත්‍යයි' කියලා නුවණින් දකිනකොට, සංසාර දුක ගැන කලකිරෙනවා. පිරිසිදු වෙන්න (නිවන් දකින්න) තියෙන පාර මේකයි.

ගාථා අංක #278

සබ්බේ සංඛාරා දුක්ඛාති - යදා පඤ්ඤාය පස්සති

අථ නිබ්බින්දති දුක්ඛේ - ඒස මග්ගෝ විසුද්ධියා

'සියලු සංස්කාර දුකයි' කියලා නුවණින් දකිනකොට, සංසාර දුක ගැන කලකිරෙනවා. පිරිසිදු වෙන්න තියෙන පාර මේකයි.

ගාථා අංක #279

සබ්බේ ධම්මා අනත්තාති - යදා පඤ්ඤාය පස්සති

අථ නිබ්බින්දති දුක්ඛේ - ඒස මග්ගෝ විසුද්ධියා

'සියලු ධර්ම අනාත්මයි' (මගේ නෙවෙයි) කියලා නුවණින් දකිනකොට, සංසාර දුක ගැන කලකිරෙනවා. පිරිසිදු වෙන්න තියෙන පාර මේකයි.

ගාථා අංක #280

උට්ඨානකාලම්හි අනුට්ඨහානෝ - යුවා බලි අලසෝ උපේතෝ

සංසන්නසංකප්පමනෝ කුසීතෝ - පඤ්ඤාය මග්ගං අලසෝ න වින්දති

නැගිටින්න ඕන වෙලාවට නැගිටින්නේ නැති, තරුණ වුනත් කම්මැලි, හොඳ අදහස් යටපත් කරන, අලස කෙනාට ප්‍රඥාවේ මාර්ගය හම්බ වෙන්නේ නෑ.

ගාථා අංක #281

වාචානුරක්ඛී මනසා සුසංවුතෝ - කායේන ච අකුසලං න කයිරා

ඒතේ තයෝ කම්මපථේ විසෝධයේ - ආරාධයේ මග්ගමිසිප්පවේදිතං

වචනය රැකගන්න. හිත සංවර කරගන්න. කයින් අකුසල් කරන්න එපා. මේ තුන් දොර පිරිසිදු කරගත්තොත් බුදුවරු පෙන්නපු නිවන් මග සම්පූර්ණ කරගන්න පුළුවන්.

ගාථා අංක #282

යෝගා වේ ජායතී භූරි - අයෝගා භූරිසංඛයෝ

ඒතං ද්වේධා පථං ඤත්වා - භවාය විභවාය ච

තථත්තානං නිවෙසෙය්‍ය - යථා භූරි පවඩ්ඪති

භාවනාවෙන් තමයි නුවණ ඇති වෙන්නේ. භාවනා නොකළොත් නුවණ නැති වෙනවා. දියුණුවට සහ පිරිහීමට තියෙන මේ මං දෙක දැනගෙන, නුවණ වැඩෙන විදියට වැඩ කරන්න.

ගාථා අංක #283

වනං ඡින්දථ මා රුක්ඛං - වනතෝ ජායතී භයං

ඡෙත්වා වනඤ්ච වනථඤ්ච - නිබ්බනා හෝථ භික්ඛවෝ

කැලේ (කෙලෙස්) කපන්න, ගස් කපන්න එපා. කැලේ නිසා බිය හටගන්නවා. කෙලෙස් වනයයි, පොඩි පඳුරුයි (ආසාවයි) ඔක්කොම කපලා නිවන් දකින්න.

ගාථා අංක #284

යාව හි වනථෝ න ඡිජ්ජති - අණුමත්තෝපි නරස්ස නාරිසු

පටිබද්ධමනෝව තාව සෝ - වච්ඡෝ ඛීරපකෝව මාතරි

පිරිමියෙකුට කාන්තාවක් ගැන තියෙන ආසාව පොඩ්ඩක් හරි තියෙනකල්, කිරි බොන වස්සෙක් අම්මා පස්සේ යනවා වගේ එයා සංසාරේ යනවා.

ගාථා අංක #285

උච්ඡින්ද සිනේහමත්තනෝ - කුමුදං සාරදිකංව පාණිනා

සන්තිමග්ගමේව බ්‍රූහය - නිබ්බානං සුගතේන දේසිතං

සරත් කාලෙට පිපෙන කුමුදු මලක් අතින් කඩලා දානවා වගේ, තමන්ගේ ආසාව කඩලා දාන්න. බුදුරදුන් දේශනා කරපු නිවන් මගම වඩන්න.

ගාථා අංක #286

ඉධ වස්සං වසිස්සාමි - ඉධ හේමන්තගිම්හිසු

ඉති බාලෝ විචින්තේති - අන්තරායං න බුජ්ජති

'මම වැස්ස කාලේ මෙහෙ ඉන්නවා. සීතල කාලෙයි රස්නේ කාලෙයි මෙහෙ ඉන්නවා' කියලා මෝඩයා හිතනවා. (මරණය නමැති) අනතුර එයා දකින්නේ නෑ.

ගාථා අංක #287

තං පුත්තපසුසම්මත්තං - බ්‍යාසත්තමනසං නරං

සුත්තං ගාමං මහෝඝෝව - මච්චු ආදාය ගච්ඡති

දරුවෝ, සත්තු, ධනය ගැන මත්වෙලා, ඒවගෙම ඇලිලා ඉන්න මිනිහව, නිදාගෙන ඉන්න ගමක් වතුර ගලලා අරන් යනවා වගේ මරණය අරගෙන යනවා.

ගාථා අංක #288

න සන්ති පුත්තා තාණාය - න පිතා නපි බන්ධවා

අන්තකේනාධිපන්නස්ස - නත්ථි ඤාතීසු තාණතා

මරණය ආවම දරුවොන්ට, තාත්තට, නෑදෑයන්ට අපිව බේරගන්න බෑ. කවුරු හිටියත් වැඩක් නෑ.

ගාථා අංක #289

ඒතමත්ථවස්ං ඤත්වා - පණ්ඩිතෝ සීලසංවුතෝ

නිබ්බානගමනං මග්ගං - ඛිප්පමේව විසෝධයේ

මේක දැනගෙන, නුවණැත්තා සිල්වත් වෙලා, නිවනට යන පාර ඉක්මනින්ම සුද්ද කරගන්න ඕනේ.