ධම්ම පදය

ඩිජිටල් පුස්තකාලය

පාප වග්ගය

ගාථා අංක #116

අභිත්ථරේථ කල්‍යාණේ - පාපා චිත්තං නිවාරයේ

දන්ධං හි කරෝතෝ පුඤ්ඤං - පාපස්මිං රමතී මනෝ

ඉක්මන් කරලා පින් කරන්න ඕනේ. පව් වැඩ වලින් සිත වළක්වගන්න ඕනේ. පින් කරන්න පරක්කු වුනොත්, සිත ඉබේම පව් වැඩ වලට කැමති වෙනවා.

ගාථා අංක #117

පාපඤ්චේ පුරිසෝ කයිරා - න තං කයිරා පුනප්පුනං

න තම්හි ඡන්දං කයිරාථ - දුක්ඛෝ පාපස්ස උච්චයෝ

වැරදිලා හරි පවක් වුනොත්, ඒක ආයේ ආයේ කරන්න එපා. ඒකට කැමති වෙන්න එපා. පව් රැස් වුනොත් ඒක දුකක්.

ගාථා අංක #118

පුඤ්ඤඤ්චේ පුරිසෝ කයිරා - කයිරාථේතං පුනප්පුනං

තම්හි ඡන්දං කයිරාථ - සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

පිනක් කළොත්, ඒක ආයේ ආයේ කරන්න. ඒකට කැමති වෙන්න. පින් රැස් වුනොත් ඒක සැපයක්.

ගාථා අංක #119

පාපෝපි පස්සති භද්‍රං - යාව පාපං න පච්චති

යදා ච පච්චති පාපං - අථ පාපෝ පාපානි පස්සති

පව් විපාක දෙනකල් පව්කාරයා හිතන්නේ ඒක හොඳයි කියලා. ඒත් විපාක දෙනකොට එයාට තේරෙනවා ඒක නරකයි කියලා.

ගාථා අංක #120

භද්‍රෝපි පස්සති පාපං - යාව භද්‍රං න පච්චති

යදා ච පච්චති භද්‍රං - අථ භද්‍රෝ භද්‍රානි පස්සති

පින් විපාක දෙනකල් පින්වතාට (සමහර විට) දුක හිතෙනවා. ඒත් පින් විපාක දෙනකොට එයාට තේරෙනවා ඒක කොච්චර හොඳද කියලා.

ගාථා අංක #121

මාප්පමඤ්ඤේථ පාපස්ස - න මන්තං ආගමිස්සති

උදබින්දුනිපාතේන - උදකුම්භෝපි පූරති

බාලෝ පූරති පාපස්ස - ථෝකථෝකම්පි ආචිනං

'පොඩි පවක්නේ, මට විපාක දෙන එකක් නෑ' කියලා පව් සැහැල්ලුවට ගන්න එපා. වතුර බිංදුව බිංදුව වැටිලා කළයක් පිරෙනවා වගේ, ටික ටික එකතු වෙලා අඥානයා පව් පුරව ගන්නවා.

ගාථා අංක #122

මාප්පමඤ්ඤේථ පුඤ්ඤස්ස - න මන්තං ආගමිස්සති

උදබින්දුනිපාතේන - උදකුම්භෝපි පූරති

ධීරෝ පූරති පුඤ්ඤස්ස - ථෝකථෝකම්පි ආචිනං

'පොඩි පිනක්නේ, මට විපාක දෙන එකක් නෑ' කියලා පින් සැහැල්ලුවට ගන්න එපා. වතුර බිංදුව බිංදුව වැටිලා කළයක් පිරෙනවා වගේ, ටික ටික එකතු වෙලා නුවණැත්තා පින් පුරව ගන්නවා.

ගාථා අංක #123

වාණිජෝව භයං මග්ගං - අප්පසත්ථෝ මහද්ධනෝ

විසං ජීවිතූකාමෝව - පාපානි පරිවජ්ජයේ

බඩු ටිකක් සහ වටිනා ධනයක් අරන් යන වෙළෙන්දෙක් අනතුරුදායක පාරක් මගහරිනවා වගේ, ජීවත් වෙන්න ආස කෙනෙක් වස මගහරිනවා වගේ, පව් කිරීම මගහරින්න ඕනේ.

ගාථා අංක #124

පාණිම්හි චේ වණෝ නාස්ස - හරෙය්‍ය පාණිනා විසං

නාබ්බණං විසමන්වේති - නත්ථි පාපං අකුබ්බතෝ

අතේ තුවාලයක් නැත්නම් අතින් වස අල්ලන්න පුළුවන් (විෂ වෙන්නේ නෑ). ඒ වගේ පව් නොකරන (චේතනාවක් නැති) කෙනාට පවක් සිද්ධ වෙන්නේ නැහැ.

ගාථා අංක #125

යෝ අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති - සුද්ධස්ස පෝසස්ස අනංගණස්ස

තමේව බාලං පච්චේති පාපං - සුඛුමෝ රජෝ පටිවාතංව ඛිත්තෝ

කෙලෙස් නැති පිරිසිදු උතුමෙකුට කවුරු හරි ද්වේෂ කළොත්, හුළඟට විරුද්ධව දාපු දූවිලි තමන්ගේ ඇඟේම වදිනවා වගේ, ඒ පාපය ඒ අඥානයා කරාම එනවා.

ගාථා අංක #126

ගබ්භං ඒකේ උප්පජ්ජන්ති - නිරයං පාපකම්මිනෝ

සග්ගං සුගතිනෝ යන්ති - පරිනිබ්බන්ති අනාසවා

සමහරු මව් කුසක උපදිනවා. පව්කාරයෝ නිරයේ උපදිනවා. පින් කළ අය දිව්‍ය ලෝකේ යනවා. කෙලෙස් නැති කළ අය පිරිනිවන් පානවා.

ගාථා අංක #127

න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ - න පබ්බතානං විවරං පවිස්ස

න විජ්ජතී සෝ ජගතියප්පදේසෝ - යත්ථට්ඨිතෝ මුච්චෙය්‍ය පාපකම්මා

අහසේ හිටියත්, මුහුදේ හිටියත්, ගල් ලෙනක හිටියත්, පව් කළ කෙනෙකුට විපාක නොදී බේරෙන්න පුළුවන් තැනක් මේ ලෝකේ නැහැ.

ගාථා අංක #128

න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ - න පබ්බතානං විවරං පවිස්ස

න විජ්ජතී සෝ ජගතියප්පදේසෝ - යත්ථට්ඨිතං නප්පසහෙය්‍ය මච්චු

අහසේ හිටියත්, මුහුදේ හිටියත්, ගල් ලෙනක හිටියත්, මරණයෙන් බේරෙන්න පුළුවන් තැනක් මේ ලෝකේ නැහැ.