ධම්ම පදය

ඩිජිටල් පුස්තකාලය

පිය වග්ගය

ගාථා අංක #209

අයෝගේ යුඤ්ජමත්තානං - යෝගස්මිඤ්ච අයෝජයං

අත්ථං හිත්වා පියග්ගාහී - පිහෙත්’අත්තානුයෝගිනං

නොකළ යුතු දේ කරන, කළ යුතු දේ නොකරන, තමන්ගේ යහපත අතහැරලා ආසාවන් පස්සේ යන කෙනා, පස්සේ කාලෙක සිල්වත් අය දිහා බලලා දුක් වෙනවා.

ගාථා අංක #210

මා පියේහි සමාගඤ්ඡි - අප්පියේහි කුදාචනං

පියානං අදස්සනං දුක්ඛං - අප්පියානඤ්ච දස්සනං

ආස කරන අය එක්ක ඉන්නත් එපා. අකමැති අය එක්ක ඉන්නත් එපා. ආස අයව නොදකින එකත් දුකක්. අකමැති අයව දකින එකත් දුකක්.

ගාථා අංක #211

තස්මා පියං න කයිරාථ - පියාපායෝ හි පාපකෝ

ගන්ථා තේසං න විජ්ජන්ති - යේසං නත්ථි පියාප්පියං

ඒ නිසා කාටවත් ආස වෙන්න (ඇලෙන්න) එපා. ආස අය නැති වෙන එක දුකක්. යමෙක්ට ප්‍රිය අප්‍රිය කියලා දෙකක් නැත්නම් එයාට ගැටළු නෑ.

ගාථා අංක #212

පියතෝ ජායතී සෝකෝ - පියතෝ ජායතී භයං

පියතෝ විප්පමුත්තස්ස - නත්ථි සෝකෝ කුතෝ භයං

ප්‍රිය කරන දේ නිසා ශෝකය ඇති වෙනවා. බිය ඇති වෙනවා. ප්‍රිය දේ අතහැරපු කෙනාට ශෝකයක් නෑ. එතකොට කොහෙන්ද බයක්?

ගාථා අංක #213

පේමතෝ ජායතී සෝකෝ - පේමතෝ ජායතී භයං

පේමතෝ විප්පමුත්තස්ස - නත්ථි සෝකෝ කුතෝ භයං

ප්‍රේමය නිසා ශෝකය ඇති වෙනවා. බිය ඇති වෙනවා. ප්‍රේමය අතහැරපු කෙනාට ශෝකයක් නෑ. බියක් නෑ.

ගාථා අංක #214

රතියා ජායතී සෝකෝ - රතියා ජායතී භයං

රතියා විප්පමුත්තස්ස - නත්ථි සෝකෝ කුතෝ භයං

ඇල්ම (රතිය) නිසා ශෝකය ඇති වෙනවා. බිය ඇති වෙනවා. ඇල්ම අතහැරපු කෙනාට ශෝකයක් නෑ. බියක් නෑ.

ගාථා අංක #215

කාමතෝ ජායතී සෝකෝ - කාමතෝ ජායතී භයං

කාමතෝ විප්පමුත්තස්ස - නත්ථි සෝකෝ කුතෝ භයං

කාමය නිසා ශෝකය ඇති වෙනවා. බිය ඇති වෙනවා. කාමය අතහැරපු කෙනාට ශෝකයක් නෑ. බියක් නෑ.

ගාථා අංක #216

තණ්හාය ජායතී සෝකෝ - තණ්හාය ජායතී භයං

තණ්හාය විප්පමුත්තස්ස - නත්ථි සෝකෝ කුතෝ භයං

තණ්හාව නිසා ශෝකය ඇති වෙනවා. බිය ඇති වෙනවා. තණ්හාව අතහැරපු කෙනාට ශෝකයක් නෑ. බියක් නෑ.

ගාථා අංක #217

සීලදස්සනසම්පන්නං - ධම්මට්ඨං සච්චවාදිනං

අත්තනෝ කම්මකුබ්බානං - තං ජනෝ කුරුතේ පියං

සිල්වත්, දැක්ම (ප්‍රඥාව) තියෙන, දැහැමි, ඇත්ත කියන, තමන්ගේ වැඩ (නිවන් මග) කරගන්න කෙනාට ලෝකයා කැමතියි.

ගාථා අංක #218

ඡන්දජාතෝ අනක්ඛාතේ - මනසා ච ඵුටෝ සියා

කාමේසු ච අප්පටිබද්ධචිත්තෝ - උද්ධංසෝතෝති වුච්චති

නිවනට කැමති, හිතින් නිවන ස්පර්ශ කරපු, කාමයන්ගේ නොඇලුණු කෙනාට 'උඩු ගං බලා යන කෙනා' (අනාගාමී) කියලා කියනවා.

ගාථා අංක #219

චිරප්පවාසං පුරිසං - දූරතෝ සොත්ථිමාගතං

ඤාතිමිත්තා සුහජ්ජා ච - අභිනන්දන්ති ආගතං

ගොඩ කාලෙකින් පිටරටක ඉඳන් එන කෙනෙක්ව නෑදෑයෝ, යාළුවෝ සතුටින් පිළිගන්නවා.

ගාථා අංක #220

තථේව කතපුඤ්ඤම්පි - අස්මා ලෝකා පරං ගතං

පුඤ්ඤානි පටිගණ්හන්ති - පියං ඤාතීව ආගතං

ඒ වගේම පින් කරපු කෙනා මැරිලා පරලොව යද්දී, එයා කරපු පින් ඇවිත් එයාව පිළිගන්නවා. හරියට නෑදෑයෝ එයාව පිළිගන්නවා වගේ.