📜 ශාක්‍ය කෝලිය කලහය
රෝහිණී ගඟේ වතුර බෙදාගැනීම ගැන නෑදෑයන් දෙපිරිසක් යුද්ධයකට සැරසෙද්දී බුදුරදුන් වැඩම කර, වෛරයෙන් තොරව ජීවත් වීමේ අගය දේශනා කර සමගි කළ සේක.
ඩිජිටල් පුස්තකාලය
සුසුඛං වත ජීවාම - වේරිනේසු අවේරිනෝ
වේරිනේසු මනුස්සේසු - විහරාම අවේරිනෝ
වෛර කරන මිනිස්සු අතරේ වෛර කරන්නේ නැතුව අපි හරිම සුවෙන් ජීවත් වෙනවා. ඒ අය අතර අපි අවෛරීව ඉන්නවා.
සුසුඛං වත ජීවාම - ආතුරේසු අනාතුරා
ආතුරේසු මනුස්සේසු - විහරාම අනාතුරා
(කෙලෙස්) ලෙඩ තියෙන මිනිස්සු අතරේ ලෙඩ නැතුව (කෙලෙස් නැතුව) අපි හරිම සුවෙන් ජීවත් වෙනවා.
සුසුඛං වත ජීවාම - උස්සුකේසු අනුස්සුකා
උස්සුකේසු මනුස්සේසු - විහරාම අනුස්සුකා
(සැප) හොය හොය දඟලන මිනිස්සු අතරේ, එහෙම දැඟලිල්ලක් නැතුව අපි හරිම සුවෙන් ජීවත් වෙනවා.
සුසුඛං වත ජීවාම - යේසං නෝ නත්ථි කිඤ්චනං
පීතිභක්ඛා භවිස්සාම - දේවා ආභස්සරා යථා
අපිට කියලා කිසි දෙයක් (කෙලෙස්) නැහැ. අපි හරිම සුවෙන් ජීවත් වෙනවා. ආභස්සර බ්‍රහ්ම ලෝකේ දෙවියෝ වගේ අපි ප්‍රීතියම ආහාර කරගෙන ඉන්නවා.
ජයං වේරං පසවති - දුක්ඛං සේති පරාජිතෝ
උපසන්තෝ සුඛං සේති - හිත්වා ජයපරාජයං
දිනපු කෙනාට වෛරකාරයෝ ඇති වෙනවා. පැරදුණ කෙනා දුකෙන් ඉන්නවා. ජය පරාජය දෙකම අතහැරපු, සංසුන් වුන කෙනා සුවසේ ඉන්නවා.
නත්ථි රාගසමෝ අග්ගි - නත්ථි දෝසසමෝ කලි
නත්ථි ඛන්ධසමා දුක්ඛා - නත්ථි සන්තිපරං සුඛං
රාගය වගේ ගින්නක් නෑ. ද්වේෂය වගේ අපරාධයක් නෑ. මේ ශරීරය (ස්කන්ධ) වගේ දුකක් නෑ. නිවනට වඩා සැපක් නෑ.
ජිඝච්ඡා පරමා රෝගා - සංඛාරා පරමා දුක්ඛා
ඒතං ඤත්වා යථාභූතං - නිබ්බානං පරමං සුඛං
බඩගින්න තමයි ලොකුම ලෙඩේ. සංස්කාර (සකස් වුන දේවල්) තමයි ලොකුම දුක. මේක ඇත්ත ඇති සැටියෙන් දැනගත්තම, නිවන තමයි පරම සැපය.
ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං
විස්සාසා පරමා ඤාතී - නිබ්බානං පරමං සුඛං
නිරෝගීකම පරම ලාභයයි. සතුට පරම ධනයයි. විශ්වාසවන්තකම හොඳම නෑදෑකමයි. නිවන පරම සැපයයි.
පවිවේකරසං පිත්වා - රසං උපසමස්ස ච
නිද්දරෝ හෝති නිප්පාපෝ - ධම්මපීතිරසං පිවං
විවේකයේ රසය බීලා, සිත නිවීමේ රසය බීලා, ධර්ම ප්‍රීතිය නමැති රසය බොන කෙනාට බියක් නෑ, පවක් නෑ.
සාහු දස්සනමරියානං - සන්නිවාසෝ සදා සුඛෝ
අදස්සනේන බාලානං - නිච්චමේව සුඛී සියා
ආර්යයන් වහන්සේලා දැකීම යහපත්. උන්වහන්සේලා එක්ක ඉන්න එක සැපක්. අඥානයන්ව දකින්නේ නැතුව ඉන්න තරමට නිබඳවම සැප ලැබෙනවා.
බාලසංගතචාරී හි - දීඝමද්ධාන සෝචති
දුක්ඛෝ බාලේහි සංවාසෝ - අමිත්තේනේව සබ්බදා
ධීරෝ ච සුඛසංවාසෝ - ඤාතීනංව සමාගමෝ
අඥානයෙක් එක්ක යන කෙනාට ගොඩක් කල් දුක් වෙන්න වෙනවා. ඒක හතුරෙක් එක්ක ඉන්නවා වගේ දුකක්. ඒත් නුවණැත්තෙක් එක්ක ඉන්න එක නෑදෑයෝ එක්ක ඉන්නවා වගේ සැපක්.
තස්මා හි ධීරඤ්ච පඤ්ඤඤ්ච බහුස්සුතඤ්ච - ධෝරය්හසීලං වතවන්තමරියං
තං තාදිසං සප්පුරිසං සුමේධං - භජේථ නක්ඛත්තපථංව චන්දිමා
ඒ නිසා ධෛර්යවන්ත, ප්‍රඥාවන්ත, බහුශ්‍රැත, සිල්වත්, ආර්ය සත්පුරුෂයන්ව ඇසුරු කරන්න. හරියට හඳ තරු පංතිය ඇසුරු කරනවා වගේ.