බුද්ධානුස්සති භාවනාව
ආරම්භය
පහසු ඉරියව්වකින් වාඩි වී, කය ඍජු කරගෙන, දෑස් පියාගෙන තෙරුවන් ගුණ සිහි කරන්න.
නව අරහාදී බුදු ගුණ පාඨය
ඉතිපි සෝ භගවා අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථි, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ, භගවාති.
1. අරහං (Araham)
රහසින්වත් පව් නොකළ සේක. කෙලෙස් සතුරන් නැසූ සේක. සියලු පූජාවන්ට සුදුසු වන සේක.
2. සම්මා සම්බුද්ධෝ (Samma Sambuddho)
දුක, දුක ඇති වීම, දුක නැති කිරීම, දුක නැති කරන මග යන චතුරාර්ය සත්‍යය ධර්මය තමන් වහන්සේ විසින්ම අවබෝධ කළ සේක.
3. විජ්ජාචරණ සම්පන්නෝ (Vijja Charana Sampanno)
අෂ්ට විද්‍යාවන්ගෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වන සේක.
4. සුගතෝ (Sugatho)
යහපත් ගමනක් ඇති සේක. යහපත් වචනම කතා කරන සේක. නිවනට වැඩි සේක.
5. ලෝකවිදූ (Lokavidu)
කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය යන සියලු ලෝකයන් පිළිබඳව තත්වූ පරිද්දෙන් අවබෝධ කළ සේක.
6. අනුත්තරෝ පුරිසදම්ම සාරථි
දමනය කිරීමට නොහැකි දරුණු පුද්ගලයන් පවා දමනය කර යහමගට ගැනීමේ, ලොව අන් කිසිවෙකුටත් නොමැති හැකියාව ඇති සේක.
7. සත්ථා දේවමනුස්සානං
දෙවියන්ට ද මිනිසුන්ට ද එකම ගුරුවරයාණන් වන සේක. මෙලොව පරලොව යහපත කියා දෙන සේක.
8. බුද්ධෝ (Buddho)
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ සේක. අනුන්ට ද අවබෝධ කරවූ සේක.
9. භගවාති (Bhagavati)
සියලු භාග්‍යයන්ගෙන් යුක්ත වන සේක. භජනය කිරීමට සුදුසු වන සේක.